• English
  • Sinhala
  • Tamil

අපගේ දෙපාර්තමේන්තු

Our Departments

සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ (NERD ආයතනය) සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව වසර 40 ක පමණ කාලයක සිට වියදම් පිරිමැසුම්දායක ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ සිදුකිරීම මෙන්ම එහි ප්‍රතිඵලයන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ව්‍යාප්ත කරවීමේ නියැලී සිටියි. දිවංගත විද්‍යාජෝති ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මහතාගේ පුරෝගාමිත්වය යටතේ සිදුකරනු ලැබු විවිධ වියදම් පිරිමැසුම්දායක ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණ ක්‍රමවේදයන් මෙරටේ මෙන්ම විවිධ රටවලද භාවිතා කිරීමට පෙළඹී ඇත.

මෙම මූලාරම්භයෙන් පසුව නර්ඩ් ආයතනයට සම්බන්ධ වූ ඉංජිනේරු මහත්ම මහත්මීන් මෙම වියදම් පිරිමැසුම්දායක ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණ ක්‍රමවේදය දිනෙන් දින දියුණු කිරීම සඳහාද, ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීම සඳහාද දායක වි ඇත.

වියදම් පිරිමැසුම්දායක ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය ශ්‍රී ලංකාවේ දේශගුණික මෙන්ම කාලගුණික තත්වයන් වලටද ආර්ථික රටාවන්ට ද මැනවින් ගැලපේ. එමෙන්ම මෙම තාක්ෂණයේ සියළුම යෙදීම් ලෝකයේ බහුලව භාවිතා වන තාක්ෂණ සේම නියමිත ප්‍රමිතියකින් ද යුතුවේ. තවද සීඝ්‍රෙයන් අඩුවී යන සම්පත් එනම් දැව, වැලි සහ කළු ගල් යනාදිය සඳහා විකල්ප හඳුන්වා දිම් මෙන්ම එම මුලාශ්‍රයන් භාවිතය අවම කිරීමද මෙම තාක්ෂණ ක්‍රමවේදය මගින් සිදුකර ඇත. පුහුණු ශ්‍රමය අවම කරවීමද ගොඩනැගිලි ඉදිකිරීමට යන කාලය අවම කරවීමද මෙහි අරමුණු අතර වේ.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සදහා තාක්ෂණලාභීන් පුහුණු කරවීමද එමගින්, රට තුල මෙම තාක්ෂණ ක්‍රමවේදයන් ව්‍යාප්ත කිරීමද සිදුකරනු ලැබේ. මේ අයුරින් ලාභදායි කල් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ දේශගුණික රටාවටන්ට ගැලපෙන තාක්ෂණික ක්‍රමවේදයන් ඇතුලත් වූ වියදම් පිරිමැසුම්දායක ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමවේදයන් සහිත අත්පොතක් ද NERD ආයතනයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් එළිදක්වා ඇත.

සංවර්ධන සහ ව්‍යාපෘති දෙපාර්තමේන්තුව (DPD)

සංවර්ධන සහ ව්‍යාපෘති දෙපාර්තමේන්තුව විසින් නර්ඩ් මධ්‍යස්ථානයට ආදායම් උත්පාදනය කිරීමේ අරමුණින්, මධ්‍යස්ථානයෙහි සංවර්ධිත තාක්ෂණයන් ව්‍යාප්ත කිරීම සහ පහත සඳහන් විෂයයන් පිළිබඳ රැකියා භාර ගැනීම සිදුකරයි. සිවිල් ඉංජිනේරු උපදේශන සේවා සැපයීම, පිරිවැය ඵලදායී ගොඩනැගිලි ඉදිකිරීම සහ ව්‍යුහයන් සැකසීම, පෙරසවි සහ පෙර නිමි කොන්ක්‍රීට් අයිතම නිෂ්පාදනය කර විකිණීම, නර්ඩ් තාක්ෂණයට අනුකූලව නිර්මාණය කර ඇති යන්ත්‍ර, දාහකාගාර සහ ආදාහනාගාර නිපදවීම, සවිකිරීම, ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම, වැඩිදියුණු කිරීම, උපදේශන සේවා සැපයීම යනාදිය ප්‍රධාන සේවාවන් වේ. දෙපාර්තමේන්තුවට අයිති අංශයක් වන මධ්‍යම වැඩහල විසින් ඉටු කරන ලද කාර්යයන් ලෙස දෙපාර්තමේන්තු පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට අදාළ සේවා සැපයීම, නර්ඩ් මධ්‍යස්ථානයෙහි නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා නඩත්තු ඒකකයක් සහ නර්ඩ් මධ්‍යස්ථානයෙහි ගොඩනැගිලි සහ යටිතල ව්‍යූහයන් ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යයන් සිදුකිරීම සංවර්ධන සහ ව්‍යාපෘති දෙපාර්තමේන්තුව මගින් සිදුකරන අනෙකුත් කාර්යයන් වේ.

බලශක්ති හා පාරිසරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව (ENED)

බලශක්ති හා පාරිසරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මූළිකව අවධානය යොමු කරනු ලබන්නේ පාරිසරික හා බලශක්ති කේෂ්ත්‍රයහී ඉංජිනේරුමය පර්යේෂණ සහ වැඩිදියුණු කිරිම සම්බන්ධවය.

එහිදි පුනර්ජනන බලශක්තිය ආශ්‍රිත වියලන යන්ත්‍ර, අපද්‍රව්‍ය ආශ්‍රිත පාරිසරික කළමනාකරණත්වයට අදාළ යෙදවුම් (ඝණ ද්‍රව්‍ය ආදිහනාගාර, අදාහනාගාර ආදිය), අපද්‍රව්‍ය ආශ්‍රිතව පාංශු වර්ධකයන් හා බලශක්තිය උත්පාදනය ආදිය මූලිකය. එසේම ජීව වායු නිෂ්පාදනය තවත් පැතිකඩකි. මේ සියළු අංශයන් සම්බන්ධව වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමද මෙහි කාර්ය භාරයෙන් කොටසකි.

මෙකට්‍රොනික් දෙපාර්තමේන්තුව (MD)

මෙකට්‍රොනික් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයන් ලෙස කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය කිරීම සහ එමගින් නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙන්ම නව්‍ය උපකරණ නිපදවීම හැඳින්විය හැක. එමෙන්ම මෙකට්‍රොනික් අංශය මගින් කර්මාන්ත පුහුණුව ලබාදීම, මෙකාට්‍රොනික් සම්බන්ධ අධ්‍යාපන වැඩසටහන් කිරීම, කර්මාන්ත සදහා සැකසුම් කරන ලද මෙකාට්‍රොනික් සම්බන්ධ අධ්‍යාපන වැඩසටහන්, පර්යේෂණ සම්බන්ධ කොන්ත්‍රාත් භාර ගැනීම, වෙනත් පාර්ශවයකගේ දායකත්වය සහිත පර්යේෂණ සහ ආයතනයෙන් පරිබාහිර පුද්ගලයන් හෝ වෙනත් ආයතන මගින් සිදු කරන පර්යේෂණ සදහා දායකත්වය ලබාදීම, නව නිපැයුම් කරුවන්ගේ නව නිර්මාණ වැඩි දියුණු කර ගැනීම සදහා දායකත්වය ලබාදීම, කර්මාන්ත සහ රාජ්‍ය / රාජ්‍ය නොවන ආයතන වල පර්යේෂණ සදහා උපදේශන සේවාවන් ලබාදීම,සමාජීය සහ කර්මාන්ත අවශ්‍යතා සදහා ගෘහස්ත පර්යේෂණ සහ සංවර්ධන සිදු කිරීම දැක්විය හැක

කෘෂි ඉංජිනේරු සහ යන්ත්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව (AE&MD)

කෘෂි ඉංජිනේරු සහ යන්ත්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කෘෂි ඉංජිනේරු හා පසු අස්වනු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කෙරෙහිය. මීට අමතරව ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාව, ධීවර කර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය, පොල් කර්මාන්තය වැනි ක්ෂේත්‍රයන්ට අදාල පර්යේෂණ හා සංවර්ධන කටයුතුද මෙම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබයි.

විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (ELED)

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවට NERD මධ්‍යස්ථානයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇත. විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවක් ලෙස මෙම අංශය ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති රාශියක් නිම කර දැයට දායාද කර ඇත.

වර්තමානයේ , දෙපාර්තමේන්තුව දේශීය ආයතන සහ කර්මාන්ත සමඟ සහයෝගී පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති රාශියක් සිදු කරන අතර කර්මාන්තයන්ට අදාල විවිඩ කාර්මික සේවා සැපයීමද සිදු කරනු ලබයි. තවද දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සහ පහසුකම්, නවීන තාක්ෂණික නවෝත්පාදන සහ නිපැයුම් සංස්කෘතියට අනුව සම්පූර්ණයෙන්ම සන්නද්ධ වේ. එසේම සිසුන් සඳහා ආධුනික පුහුණුව ලබාදීමටත්, දෙපාර්තමේන්තුවේ විශේෂඥතාව සමාජය සමඟ බෙදා ගැනීමට වැඩමුළු සංවිධානය කිරීමටත් දෙපාර්තමේන්තුව සතුව පහසුකම් ඇත.

තාක්ෂණ අලෙවි දෙපාර්තමේන්තුව

නර්ඩ් මධ්‍යස්ථානයේ ප්‍රමුඛතම දෙපාර්තමේන්තුවක් වන තාක්ෂණ අලෙවි දෙපාර්තමේන්තුව මඟින් ව්‍යවසායකයින්, මහජනතාව, සිසුන් සහ වෙනත් පාර්ශවකරුවන් නර්ඩ් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණය කිරීම සිදු කරනු ලබයි.

මෙහි ප්‍රධානතම කාර්යයන් වන්නේ නර්ඩ් මධ්‍යස්ථානය මඟින් හඳුන්වා දුන් තාක්ෂණයන් ප්‍රචලිත කිරීම, එම තාක්ෂණයන් පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම , තාක්ෂණ හුවමාරු කටයුතු සිදු කිරීම, ජාතික හා ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා සහභාගි සහභාගි වීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, නර්ඩ් බලපත්‍රලාභීන් හා පර්යේෂණ දෙපාර්ත‍මේන්තු සම්බන්ධීකරණය සිදු කිරීම, පේටන්ට් බලපත්‍ර හා සම්බන්ධ කටයුතු සිදු කිරීම ආදියයි. තවද නර්ඩ් තාක්ෂණ උද්‍යානය හා ඉංජිනේරු කෞතුකාගාරය ආශ්‍රිත කටයුතු සම්බන්ධීකරණය වන්නේද තාක්ෂණ අලෙවි අංශය මඟිනි.

බලශක්ති සහ පාරිසරික සේවා දෙපාර්තමේන්තුව

බලශක්ති කළමනාකරණය, ශබ්ද නිරීක්ෂණ සහ වායු දූෂණය අධීක්ෂණය, අපජල පිරිපහදු කිරීම සඳහා තාක්ෂණික උපදෙස් සැපයීම, විද්‍යාගාර උපකරණ ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රමාංකනය කිරීම, මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ කර්මාන්ත ශාලා සඳහා පාරිසරික ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය උපදේශන සේවා සැපයීම යන ක්‍ෂේත්‍රයන්ට අදාළ සේවා සැපයීම මෙම දෙපාර්තමේන්තුවට අදාළ කාර්යභාරය වේ.

තාක්ෂණ උපකාරක සේවා අංශය

සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙය නවෝත්පදකයන් දිරිගැන්වීම සඳහා පිහිටුවා ඇත. නව නිර්මාණයන් දිරිගැන්වීම, නිර්මාණකරුවන්ගේ අදහස් මූලාකෘති බවට පත්කරගැනීමේ පහසුකම්, අති නවීන CNC මැෂින් භාවිතයෙන් තම නිර්මාණ වැඩිදියුණු කරගැනීමේ හැකියාව සහ ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය නිෂ්පාදන වෙනුවෙන් මෙහි යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ හැකියාව තාක්ෂණ උපකාරක සේවා අංශය මගින් සිදුකරනු ලැබේ.